වසර 150 කට පසු පොල්කොට ඉස්කෝලෙ දෙස ආපසු හැරි බැලිමේදි...
1869 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ 10 වෙනිදා බණ්ඩාරවත්තේ විසූ K.M.රිචඩ් රොද්‍රිගෝ මුහන්දිරම් රාලහාමි පහල වූ පින් සිතිවිල්ලක් අනුව එතුමාගේ අළුත් ගෙදර වත්තේ කුඩා පාසලක් ආරම්භ කරන ලදී. පොල්කොට මත ඉදි වූ මෙම මඩුව පොල් අතු සෙවිලි කර සාදන ලදී. ඩෙස්, බංකු සඳහාද පොල් කොට මත ලෑලි ගසා සකස් කර තිබූ හෙයින් මෙම පාසල “පොල්කොට ස්කෝලේ” නමින් ප්‍රසිද්ධ වී ඇත. මුල්ම දරුවන් දහදෙනාට අකුරු කරවීමට පැමිණි විදුහල්පති වරයා කවරෙක්ද යනු අදටත් දන්නා කෙනෙක් නැත. ඒත් ඔහු අශ්ව කරත්තයකින් පැමිණි බවට සඳහන් වේ. පොල්කොට ස්කෝලේ තාවකාලික මඩුව කඩා වැටීමෙන් පසු බණ්ඩාරවත්ත හන්දියේ කඩ කාමරයක් ශත ගණනකට කුලියට ගෙන කුලී නිවැසි විදුහලක් ලෙස මෙම පාසල පවත්වා ඇත. 1929 වර්ෂයේදී දැනට බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල පවතින කුරුදු කැලය නම් වූ ස්ථානයට ගෙනැවිත් ඇත. ඒ සඳහා පුරෝගාමීත්වය දරණු ලැබුවේ බණ්ඩාරවත්තේ ගේබ්‍රියෙල් විජේවික්‍රම රාලහාමිය. එහි මුල්ම විදුහල්පති වරයා චාල්ස් අමරසිංහ වේ. පසුව රජයට පවරාදීමට තීරණය වූ මෙම විදුහලේ ගැහැණු පිරිමි වශයෙන් වෙන් වෙන්ව ගොඩනැගිලි දෙකක් ඉදි වී ඇත. දැනට විදුහලේ පවතින පැරණිම ගොඩනැගිලි දෙක වශයෙන් ඒවා හැඳින්විය හැකිය.
1929 – 1937 දක්වා චාල්ස් අමරසිංහ මයා විදුහල්පති ධූරය දරා ඇත.
1937 වන විට ලමුන් 286 ක් අධ්‍යාපනය ලබා ඇත.
1938 – 1939 පැල්මඩුල්ලේ වීරකෝන් විදුහල්පති ලෙස ද,
1940 – 1954 යක්කල ලොබ සුමනසිරි මයා,
1954 – 1959 අතුකෝරල මයා,
1959 – 1963 P.P.රූපසිංහ මයා,
1963 – 1964 පී.පරනවිතාන මයා,
1965 – 1970 ධර්මසිර් මයා,
1970 – 1979 නැවතත් පී.පරනවිතාන මයා,
1979 – 1996.09.14 දක්වා J.A.D.E.ජයකොඩි මයා,
1996.09.15 – 1996.12.31 දක්වා M.G.A.ආර්ය මයා වැඩ බලන විදුහල්පති ලෙස ද,
1997 – 1998 දක්වා K.A.සෙනෙවිරත්න මයා,
1998 - 2006 ගුණවර්ධන මයා,
2006 – 2011 E.A.D.කරුණාරත්න මයා,
2011 – 2013 නිරෝෂන් ඕපාත මයා,
2013 සිට මේ දක්වා B.M.J.බණ්ඩාරණායක මයා
- 1979 වර්ෂයේ මහ විදුහලක් බවට පත්විය. එතෙක් කනිටු විදුහලකි. කලා විෂය ධාරාවෙන් අ.පො.ස.(උ.පෙළ) පන්තියක් ආරම්භ විය.රණසිංහ මහත්මිය උසස් පෙළ අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කර ඇත. එම පන්තියෙන් 1982 වර්ෂයේ විශ්ව විද්‍යාලයට තේරුණු මුල්ම ශිෂ්‍යාව ලෙස හේමමාලි මුණසිංහ දැරිය පරාක්‍රම විද්‍යාලීය ඉතිහාසයට එක්විය. ඇය පසුව උපගුරුවරියක් ලෙස මෙම විදුහලේ සේවය කර වෙනත් විදුහලකට මාරු වී ගොස් අදට විශ්‍රාම සුවයෙන් සිටී.
- 1983 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) වානිජ විෂය ධාරාවද විදුහලට එක්විය. .ඒ අනුව 1 C පාසලක් බවට පත්විය.
- 1996 වන විට විදුහලේ පන්ති සංඛ්‍යාව 60 ක් විය. ශිෂ්‍ය සංඛ්‍යාව තුන් දහසකට ආසන්න විය.
මෙහි සිසු දරුවන් පාසලට අත්කර දුන් ජයග්‍රහණ කීපයක් මෙසේය.
- 1979 – 1980 සමස්ත ලංකා වොලිබෝල් අනුශූරතාවය හිමි කර ගෙන දිවයින පුරා විදුහල ප්‍රසිද්ධියක් ලැබීය.
- 1984 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලංකා 2 වන ස්ථානය වාසනා ගමගේ සිසුවියට හිමිව ඇත.
- 1986 වර්ෂයේ මහපොල ප්‍රදර්ශනය පවත්වා විදුහලට විශාල කීර්තියක් හා භෞතික සම්පත් ද ලැබී ඇත.
- 1990 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලංකා 2 වන ස්ථානය සුපුන් ගුණරත්න සිසුවාට හිමිව ඇත.
- 1991 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලංකා පළමු වන ස්ථානය රුක්මාලි ගුණරත්නද දිනා ගෙන විදුහලට කීර්තියක් ලබා දෙයි.
- වැඩිම වාර ගණනක් පහ වසර ශිෂ්‍යත්ව දිස්ත්‍රික් ශූරයා මෙම විදුහලෙන්ද 1996 වන විට සමස්ත ලංකා ශිෂ්‍යත්ව ප්‍රතිඵල සමත් ප්‍රතිශතයෙන් ප්‍රථම ස්ථානය මෙම විදුහලට ලැබීමත් සතුටට කරුණකි.
- 1996 වන විට විශ්ව විද්‍යාලයට සිසුන් හත් දෙනෙකු ඇතුලත් වී ඇත. කලා/වානිජ
- තවද ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ගුරුවරු ප්‍රමාණයක් සේවය කරන සහ වැඩිම සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන විදුහල බවටත් වාර්තා තබා ඇත.
ගෙවී ගිය වසර 152 ක කාලය තුල පොල්කොට ඉස්කෝලේ නමින් ආරම්භ වී පසුව බණ්ඩාරවත්ත පරක්ක්‍රම මහා විද්‍යාලය නමින් කීර්තියට පත් අප පාසල 2021 සැප්තැම්බර් 13 ජාතික පාසලක් බවට පත් විය. ඉන් පසුව අද ගම්/පරාක්‍රම (ජාතික පාසල) නමින් උගත් සිසු පරපුරක් රටට දැයට පමණක් නොව ජාත්‍යන්තරයට මහඟු සේවයක් ඉටු කරන බව සතුටින් මතක් කරමු.








