1869 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ 10 වෙනිදා බණ්ඩාරවත්තේ විසූ K.M.රිචඩ් රොද්‍රිගෝ මුහන්දිරම් රාලහාමි පහල වූ පින් සිතිවිල්ලක් අනුව එතුමාගේ අළුත් ගෙදර වත්තේ කුඩා පාසලක් ආරම්භ කරන ලදී. පොල්කොට මත ඉදි වූ මෙම මඩුව පොල් අතු සෙවිලි කර සාදන ලදී. ඩෙස්, බංකු සඳහාද පොල් කොට මත ලෑලි ගසා සකස් කර තිබූ හෙයින් මෙම පාසල “පොල්කොට ස්කෝලේ” නමින් ප්‍රසිද්ධ වී ඇත. මුල්ම දරුවන් දහදෙනාට අකුරු කරවීමට පැමිණි විදුහල්පති වරයා කවරෙක්ද යනු අදටත් දන්නා කෙනෙක් නැත. ඒත් ඔහු අශ්ව කරත්තයකින් පැමිණි බවට සඳහන් වේ. පොල්කොට ස්කෝලේ තාවකාලික මඩුව කඩා වැටීමෙන් පසු බණ්ඩාරවත්ත හන්දියේ කඩ කාමරයක් ශත ගණනකට කුලියට ගෙන කුලී නිවැසි විදුහලක් ලෙස මෙම පාසල පවත්වා ඇත.








